සෙල්ෆි ඡායාරූපය දැකලා ඔහු තිගැස්සෙන්නට ඇති.. මේ ඔවුන්මද..? ප්රතීක්ගේ පවුලට සමීපතමයෙක් වුණු ඔහු ඒ ගැන කිව්වේ මෙන්න මේ වගේ කතාවක්..
ඉකුත් ඔක්තෝබරයේ 20 වැනිදා මෙරට සංචාරයකට පැමිණ ඇති ප්‍රතික් ජෝෂි ඇතුළු පවුලේ සැමට ශ්‍රී ලංකාවේදී මඟපෙන්වන්නා වුණේ ඔහුයි.. දුලාජ් කරුණාරත්න, මේ සිද්ධිය ගැන ඊයේ තවත් කතාවක් ඇසෙද්දී ඔහුගේ පවුල ගැන දුලාජ් කිව්වේ වෙනස්ම කතාවක්.. ඔවුන් ශ්‍රී ලංකාවේ ගත කළ දින දහයක පමණ කාලය සහ අනතුරුව ප්‍රතික් සමඟ දුලාජ්ගේ තිබූ සම්බන්ධතාවය මේ කතාව අලුත් කරන්න හේතුවක් වුණා.. ප්‍රතික් ඇතුළු පවුලේ උදවිය මීට මාස කිහිපයකට පෙර ලංකාවේ සංචාරයක නිරත වෙද්දී ඔවුනට මඟපෙන්වා තිබුණේ දුලාජ් විසින්..
මේ මහා ගුවන් අනතුරට මොහොතකට පස්සේ ඔවුන්ගේ ඡායාරූපය සමාජ මාධ්‍යයේ සැරිසරද්දී එය නෙතගැටුණු මේ තරුණයා, සැණින් ප්රතික්ගේ වට්ස්ඇප් දුරකතනයට ඇමතුමක් ගෙන තිබුණේ වැඩිදුරටත් ඔහු ඒ ගුවන්යානයේ සිටියේද යන්න සනාථ කරගැනීමේ අටියෙන් වුණත්, එහිදී දුලාජ් දුටුවේ පස්වරු 1.38ට ප්රතික්ගේ වට්ස්ඇප් දුරකතනයේ ඔන්ලයින් සබඳතාව විසන්ධි වී ඇති බවයි...
“ඇත්තටම මට හිතාගන්නවත් බෑ ඒ අයට මෙහෙම වුණේ කොහොමද කියලා. මම වැඩිපුරම ගයිඩ් කරන්නේ ඉන්දීය ජාතිකයන්. මේ කපල් එක සහ දරුවෝ තුන්දෙනා මට හමු වුණ සුවිශේෂම කණ්ඩායමක් වුණා. ඔවුන් ඒ තරමටම හොඳ පිරිසක්. යන්නේ කොහේද? ඒ ගිය හැමතැනකදීම මුලින්ම බලන්නේ මම කෑවද බිවුවද කියලා…” යැයි හැඟීම්බරව පැවසූ දුලාජ් එම පස්දෙනා ඔහුගේ වෑන් රථයෙන් මෙරට විසූ දින 10 තුළ කොළඹ, මහනුවර, නුවරඑළිය, ඇල්ල, යාල සහ බෙන්තොට සංචාරය කළ බව පැවසුවා..
“ඒ, ප්‍රතික් සහ පවුලේ පිරිස ලංකාවට ආපු පළමුවැනි වතාව කියල තමයි මට කිව්වේ… ලංකාව ගැන හරිම සතුටින් කතා කළේ… තැඹිලි බොන්න පුදුම ආසාවක් තිබුණේ… දළදා මාලිගාව ඉදිරිපිට ඉඳන් මට කියලා ෆොටෝ එකකුත් ගත්තා… ප්‍රතික් මුලින් ඩේටා ඉංජිනියර් කෙනෙක්. පස්සේ එයා ඩොක්ටර් කෙනෙක් වෙලා… එයාගේ වයිෆුත් ප්‍රතික් එංගලන්තයේ වැඩ කළ හොස්පිට්ල් එකට අරගෙන ලන්ඩන්වලම පදිංචි වෙන්නයි එයාලගේ ප්ලෑන් එක තිබුණේ… දවසක් මම කතා කරපු වෙලාවක ඒ ගැනත් කතා කළා…” යැයි කී දුලාජ් එම යුවළගේ දරුවන් තිදෙනා ඔහුට පුදුමාකාර ළෙන්ගතුකමකින් එම දින කිහිපය තුළ ගත කළ බවද පැවසුවා..
“පිරිමි දරුවෝ දෙන්නට ආදරේට කියන්නේ ලව් කුෂ් කියලා. ඒ දෙන්නට අවුරුදු පහයි… නිවුන්නු. ලොකු දුවට අවුරුදු 7ක් වගේ. ප්‍රතික් ලක්නව්වල. බිරිය කෝමි රාජාස්ථාන්වල. මට හරිම දුක ඒ පිරිස අන්තිමට මගේ වෑන් එකට නැග්ගේ ටුවර් එක ඉවර කරලා එයාපෝට් යන්න බෙන්තොටින්. එදා වෑන් එකට නඟින්න හදන කොට මගේ වෑන් එක ඉඹලා… මාව බදාගෙන කිව්වේ… ‘උඹ අපිව පරිස්සමට ලංකාව වටේ එක්කගෙන ගියා… ඒක තමයි මට කළ ලොකුම උපකාරය’ කියලා… එතරම් ඔහු පවුල සහ දරුවෝ ගැන පරිස්සම් වුණා…”
එලෙස ප්‍රතික් ඇතුළු පවුලේ සැම ඉකුත් ඔක්තෝබර් 29 වැනිදා දුලාජ්ගෙන් සමු ගෙන ගියද එම යුවළ දුලාජ් සමඟ නිතර වට්ස්ඇප් ඔස්සේ කතාබහ කරමින් දුක සැප බෙදාගත් බවද දුලාජ් කීවා..
“ඒ කපල් එක හරිම සංවේදියි. ජනවාරි 1 වැනිදාත් මට කතා කළා… එහෙම මට කතා කරන හැම වෙලේම කියන්නේ පරිස්සමින් වාහනේ එළවපන් කියලමයි… ඒකමයි මට මේ ඛේදවාචකය ආරංචි වුණාම පුදුම දුකක් ඇති වුණේ… මම ඕනෑ තරම් ඉන්දියන්ස්ලා ටුවර් අරගෙන ගිහින් තියෙනවා… ඒත් මේ කපල් එක සහ පොඩි තුන් දෙනා මට පුදුම විදිහට එකතු වුණා… ඒ පොඩි තුන්දෙනා යන තැන්වලදි මාරුවෙන් මාරුවට මමයි වැඩිපුර වඩාගෙන ගියේ… කොල්ලෝ දෙන්නා අංකල්… අංකල්… කියකිය මගේ පස්සෙන්මයි…” යැයි කී දුලාජ් අවසානයේ ප්‍රතික් ඇතුළු පවුලේ සැමට සිදු වූයේ කලාතුරකින් සිදුවන ගුවන් අනතුරකින් සියලු දෙනාටම එක්ව ජීවිතයේ අවසන් ගමන යැමට යැයි පැවැසුවේ දුක්මුසුවය...
Post a Comment