ලොව පුරා පතල්වලින් වසරකට කණින රත්තරන් ප්‍රමාණය ටොන් 2500ක්. මේ සදහා ඉදිකල පතල් දකුණු අප්‍රිකාව, චීනය, ඕස්ට්‍රේලියාව සහ ඇමරිකාව වැනි රටවල දැකිය හැකියි. ඒ අතරින් සමහර පතල් අභ්‍යාවකාශයේ ඉන්න කෙනෙක්ට පෙනෙන තරමට විශාලයි.
රත්තරන් ලබාගන්නා ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ඒවායින් මහා පරිමාණ සමාගම් සිය කැණීම් සිදුකරන්නේ "ප්‍රාථමික රත්තරන්" ලෙස හදුන්වන රන් මිශ්‍ර පාෂාණ ඇතැයි සැලකෙන ස්ථාන වලයි. මේ තැන්වල රත්තරන් අංශු, අනෙකුත් වටිනා ප්ලැටිනම් වැනි ලෝහ සහ පාෂාණ සමග මිශ්රවෙලා තියෙනවා.
ලෝකය පුරා පස්වල, මුහුදු ජලයේ සහ මිනිස් ශරීරයේ පවා රත්තරන් දැක ගන්න ලැබුනත්, කර්මාන්තයක් විදිහට කරගෙන යන්න නම් පසේ ඇති රන් ප්‍රමාණය වැඩි විය යුතුයි. ලෝකයේ හොදම රන් ආකරවල පවා පාෂාණ ටොන් එකකට හමුවෙන්නේ රත්තරන් ග්‍රෑම් 5ක් වගේ ප්‍රමාණයක්.
"දෙවෙනි රත්තරන්" ලෙස හැදින්වෙන අනෙක් ක්‍රමය වෙන්නේ ගංගා, ඇල දොල වැනි ජල මාර්ගවල ඇති ගල් ස්ථර මත ඇති රන් ලබා ගැනීමයි. වසර මිලියන ගණනක් පුරාවට සිදුවූ ජල, සුළං ඛාදනයන් මගින් පස්වල තිබුණු ප්‍රාථමික රත්තරන් අංශු එක තැනකට රැස්වීම නිසා මේ දෙවැනි රන් තැන්පතු නිර්මාණය වෙලා තියෙනවා. මේ වගේ තැන්වල කුඩා රන් කැටිති හා විශාල රන් කැඹලි පවා දැක ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් එවැනි තැන් සොයා යන්නේ රත්තරන් සෙවීමේ යෙදෙන පුද්ගලයන්. සමාගමකට කර්මාන්තයක් ලෙස කිරීමට තරම් එම රන් ප්‍රමාණවත් වෙන්නේ නෑ.
රත්තරන්වලට මෙතරම් ඉහල මිලක් නියම වෙලා තියෙන්නේ ඒවාට ඉහල ඉල්ලුමක් තිබීම සහ දුර්ලභවීම නිසයි. විශේෂයෙන්ම වර්තමානයේ ඉලෙක්ට්‍රොනික උපාංග නිපදවීම සදහා විශාල රත්තරන් ඉල්ලුමක් තියෙනවා. මිනිසුන්ට දුර්ලභ උනත්, ඇත්තටම පෘථිවියේ රත්තරන් දුර්ලභ නෑ. ගැටළුව වෙන්නේ මේ රත්තරන් තියෙන්නේ මිනිසුන්ට ලගාවිය නොහැකි පෘථිවි කේන්ද්‍රයේ වීම නිසයි. එහි ඇති රත්තරන් ප්‍රමාණය, අරය කිලෝමීටර් 3500කට ආසන්න පෘථිවිය කේන්ද්‍ර ගෝලය මීටර් 4ක් උසකට ආවරණය කිරීමට තරම් ප්‍රමාණවත් බවට හොයාගෙන තියෙනවා.
පෘථිවිය නිර්මාණය වෙලා වසර මිලියන 200 කට විතර පසු කාලයේ ඇතිවූ දැවන්ත උල්කාපාත වර්ෂාවන් මගින් පෘථිවියට රත්තරන් ලැබෙන්නට ඇතැයි සැලකෙනවා. ඒ කාලයේ මුළු පෘථිවියම ලෝදිය බෝලයක්. පසුව පෘථිවි තලය ක්‍රමයෙන් සිසිල්වන විට යකඩ වැනි බර ලෝහ මිශ්‍රිත ලෝදිය පෘථිවි මධ්‍යට ක්‍රමයෙන් කිදාබැස තියෙනවා. එම ලෝදිය පෘථිවියේ ඉහල ස්ථරවල තිබුනු රත්තරන් හා අනෙක් වටිනා ලෝහ වර්ගත් පෘථිවිය මැදට ගෙන ගොස් තියෙනවා.
පසුකාලීනව සිදුවූ ගිනිකදු ක්‍රියාකාරීත්වය මගින් මෙම රත්තරන්වලින් සුළු ප්‍රමාණයක්, පෘථිවියේ ඉහල ස්ථරයේ අද අපි රන් පතල් පවත්වාගෙන යන තැන්වලට ගෙනවිත් තියෙනවා. ගිනිකදු ලාවා සමග පැමිණි රත්තරන්, පෘථිවි තලයේ ඇති පාෂාණ විවරවල තැම්පත්වී ප්‍රාථමික රන් හා අනතුරුව දෙවෙනි රන් තැම්පතු බවට පත්ව තිබෙනවා.
ඉතිහාසය පුරා මිනිසුන් විසින් පෘථිවියේ ඉහල ස්ථරයේ සොයාගෙන ඇති මුළු රත්තරන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 244,000ක් බවට අනුමාන කරනවා. ඒවයින් ටොන් 187,000ක් මේ වනවිට කැණීම් මගින් ලබාගෙන ඇති අතර ඉතිරි රන් ටොන් 57,000ක් පමන අනාගතයේදී කැණීම් මගින් ලබාගනු ඇති. රටවල් ගණනාවක් පුරා පතල් කැණීම් සිදුකලත් ඉතිහාසය පුරා මිනිසුන් විසින් අත්පත් කරගත් මුළු රන් ප්‍රමාණය, එක් පැත්තක් මීටර් 28ක්වූ කැටයක් සෑදීමට තරම් ප්‍රමාණවත් ප්‍රමාණයක්.
මේ අතරින් 20~40% අතර රන් ප්‍රමාණයක් හමුවී තිබෙන්නේ බහුල දකුණු අප්‍රිකාවේ විට්වෝටර්සෑන්ඩ් ප්‍රදේශයෙන්. ලෝකයේ රන් බහුලම ප්‍රදේශයක් ලෙස හදුන්වන විට්වෝටර්සෑන්ඩ්වල ඇති සමහර පතල් කිලෝමීටර් 4ක් තරම් ගැඹුරට දිව යනවා. එම ප්‍රදේශයේ ඇති රත්තරන් වලින් බොහෝ ප්‍රමාණයක් මේවන විට ලබාගෙන අවසන්. මේ නිසා 2018 වසරවන විට දකුණු අප්‍රිකාවේ රන් පතල්වලින් 75%ක්ම පාඩු ලබන තත්වයට පත්ව තිබෙන බවත් සදහන් වෙනවා.
ඕස්ට්‍රේලියාවේ “කැල්ගූර්ලී සුපිරි වළ" (සුපර් පිට්) ලෙස් හදුන්වන විශාල පතල වර්ග කිලෝමීටර් 3ක් ප්‍රදේශයක් පුරා පැතිර තියෙනවා. වසර සීයක් පුරා එහි කල කැණිම්වලින් රත්තරන් ටොන් 100ක් ලබාගෙන තියෙනවා. එම භූමිය ලෝකයේ ඇති වටිනාම වර්ග සැතැපුම ලෙසත් හැදින්වෙනවා.
2007 වසරේදී ලෝකයේ ලොකුම රන් අස්වැන්නක් ලබාගන්නා රට බවට චීනය පත්වුනා. ඒ වගේම ලෝකයේ වැඩිම රන් පරිභෝජනයට ගන්නේත් චීනයයි. චීනය සතුව ඇති පතල්වල රන් ටොන් 13,000ක් පමන තැම්පතු තිබෙන බව සදහන්. ඔවුන්ගේ විශාලතම පතල් පිහිටා ඇත්තේ මොංගෝලියාව අභ්යන්තරයේයී. එම භූමියේ ඇති රන් ප්‍රමාණය ලෝකයේ අනෙක් පතල්වල පස්වලට වඩා අඩු උනත් මහා පරිමාණයෙන් පතල් කැණීම් සිදු කෙරෙන නිසා, එය ලාභදායී බව සදහන් වෙනවා.
Post a Comment