හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ වැන්දඹුවන්ට ලබා දෙන විශේෂ වරප්‍රසාද සහ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතක් අද (31) දින ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය අනුව මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත.
මෙම නව නීති සම්පාදනය මගින් හිටපු ජනාධිපතිවරයෙකුට හෝ ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවකට හිමිවන නිල වාසස්ථාන, මාසික දීමනා, ලේකම් දීමනා සහ නිල ප්‍රවාහන පහසුකම් ඇතුළු අනෙකුත් වරප්‍රසාද සියල්ල අත්හිටුවීමට නියමිතය. ඊට අමතරව, හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවකට ගෙවනු ලබන මාසික විශ්‍රාම වැටුප ද මෙම කෙටුම්පත මගින් අහෝසි කරනු ඇත.
නීති සම්පාදන ක්‍රියාවලියට අනුව, මෙම පනත් කෙටුම්පත ගැසට් කළ දින සිට දින හතක් ගතවීමෙන් පසු පාර්ලිමේන්තුවේ පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට හැකියාව පවතී. පළමු වර කියවීමෙන් අනතුරුව, දින දාහතරක කාලයක් ඇතුළත ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට එහි ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමි වේ.
එවැනි පෙත්සමක් ඉදිරිපත් වුවහොත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිය තීන්දුව සති තුනක් ඇතුළත කථානායකවරයා වෙත දැනුම් දිය යුතුය. කිසිදු නීතිමය අභියෝගයක් සිදු නොවූ අවස්ථාවකදී හෝ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව, කෙටුම්පත අදාළ ආංශික අධීක්ෂණ කමිටුවට යොමු කෙරෙනු ඇත. ඉන් අනතුරුව දෙවන සහ තෙවන වර කියවීම් සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය සම්මත කර ගැනීමට නියමිතය.
මෙම ගැසට්ටුව අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂට වත්මන් නිල නිවසින් පිටව යන්නට සිදුවන අතර හිටපු ජනපති හේමා ප්‍රේමදාස මහත්මියට ලැබෙන වැන්දඹු දීමනාව අහිමිව යයි. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා කුමාරතුංග, මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ හා ගෝඨාභය රාජපක්ෂ යන හිටපු ජනපතිවරුන්ට ලැබෙන විශ්‍රාම වැටුප් දීමනාව පෙර ලෙසම ලැබෙනු ඇත.
මෙම ගැසට්ටුව නීතියට අනුව නිකුත් කර ඇති බවත් අභියෝගයට ලක්කර වෙනසක් කළ නොහැකි බවත් මානව හිමිකම් නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා අද දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැහැදිලි කර ඇත.
අදාළ ගැසට්ටුව පහත පරිදිය.
Post a Comment