ඊයේ (Aug 25) හිමිදිරි පාන්දර දවස් 9ක මේ චාරිකාව පටන් ගත්තේ මීගමුවෙන්. වරකාපොළ පහුවෙද්දි ඉතාලියෙන් ආපු වැලන්ටිනා සුදු නංගිට කලන්තයක් වගේ ආවා. ඒ වෙලාවේ කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. වරකාපොළ මූලික රෝහලට රැගෙන ගියා. රෝහලට ඇතුල් කළ අවස්ථාවේ සිටම රෝහලේ සියලුම සේවකයින් අනර්ඝ සේවාවක් ලබා දුන්නා. විශේෂයෙන් වෛද්‍ය මනෝරි මහත්මිය ඉතාමත්ම ඉක්මනින් රෝගියාව පරීක්ෂා කරලා ඇගේ රුධිර පීඩනය අඩුවී තිබෙන බව දැනුම් දුන්නා. ඇයට ඉක්මනින් ඇඳක් වෙන් කරලා ECG, Urine Test, වැනි අනෙකුත් පරීක්ෂණත් කඩිනමින් සිදු කලා. පරීක්ෂණ ප්‍රතිඵල බැලුවා. සේලයින් බෝතලයක් ඉවර වෙනකම්ම ඇඳට වෙලා ඉන්න කිව්වා. කාරුණික හෙදියන් ජීවනී හදලා පෙව්වා. රෝහලේ වාට්ටු, පරිසරය හරිම පිරිසිදුයි. හැම මට්ටකම සේවකයින් ඉතාමත්ම සතුටින් රාජකාරිය කරන බවක් මම දුටුවේ.
ඒ අයගේ Bill එක උනේ රුපියල් 4000කට මදක් අඩු මුදලක්. ඊට අමතරව තවත් මුදලක් වැලන්ටිනා ගේ BF විසින් රෝහලේ Donation පෙට්ටියට දැම්මා.
රෝහලෙන් එළියට එද්දී මේ දෙන්නා මට කිව්වේ ඉතාලියේදිවත් ඒ අයට මෙතරම් කඩිනම් සේවාවක් ලබාගන්නට බෑ කියලා. තියෙන දහසක් අඩුපාඩු මැද්දෙන් උනත් ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තිකයන් මේ ලබා දෙන අනර්ඝ සේවාව අගය කිරීම වෙනුවෙන් මම මේ කෙටි සටහන තබන්නේ.
මේ වෙද්දි අපේ රටේ ප්‍රධානතම ආදායම් ප්රභවය වෙලා තියෙන්නේ සංචාරක කර්මාන්තය. ලංකාවේ සංචාරය කරන සංචාරකයන් කෙරෙහි සමාජයේ සෑම පන්තියකම පුරවැසියන්ගෙන් ලැබෙන ආදරය, කරුණාව, පිළිගැනීම බොහොම ඉහළයි. ලංකාව කෙරෙහි වැඩි වැඩියෙන් සංචාරකයින් ආකර්ෂණය වෙන්න එයත් එක් හේතුවක්.
වරකාපොළ රෝහලේ. මූලික ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන් හෙද කාර්ය මණ්ඩලය සහ සුළු සේවකයින් ඇතුළු සියලු දෙනාගේම සහයෝගයෙන් ඊයේ හවස දඹුලු විහාරය වන්දනා කරපු වැලන්ටිනා අද උදේම පිදුරංගල තරණය කරන්න ගියා. දවල් වෙද්දි, සීගිරි චිත්‍ර සහ කුරුටු ගී නරඹනවා. හැන්දෑවේ මින්නේරියේ අලි බලන්න යනවා.
ඔබ ලබා දුන් ඒ ප්‍රතිකාර වලට, ඔබ දැක්වූ ඒ මනුස්සකමේ ගුණ සුචඳට බොහොම ස්තුතියි !
පසු සටහත
මේ කොටස පසුව එකතු කරන්නේ. වැලන්ටිනාව මෝටර් රථයෙන් එළියට ගත්ත අවස්ථාවේ වරකාපොළ රෝහල පහුවෙලා අපි හිටියේ නුවර පාර අයිනේ. ඒ වෙලාවේ උදෑසනම නිසා බොහෝ පිරිසක් පාරේ හිටියේ නෑ. ඇයව රථයෙන් ඉවතට අරන් මොහොතකින් ක්ලාන්තය නිසා තාර පාරෙදිම වැටෙන්න ගියා බිමට, ඒ වෙලාවේ මමත් ඇගේ සහකරුවාත් බොහොම අමාරුවෙන් ඇයව වැටෙන්න නොදී අල්ල ගත්තත් ඇගේ ශරීරයේ බර නිසාම අපි දෙන්නට අල්ලගෙන ඉන්න නොහැකි වුනා. ඇය සෙමෙන් මහ පාරේ සැතපුණා. ඇස් පියා ගත්තා. අපි බය වුනා. මම හිතුවේ ඇත්තටම Heart Attack එකක් කියලා.
ඒ වෙලාවේ මාර්ගයේ ධාවනය වූ තුන් රෝද රියක් නවත්තලා අම්මා කෙනෙක් කෑ ගහගෙන දුවගෙන ආවේ තමන්ගේ දරුවෙක්ට කරදරයක් උනා හා සමානවමයි. තවත් සහෝදරයන් දෙතුන් දෙනෙක් ඉක්මනටම එතනට ඇවිත් මට උදව් කළා. ඒ අය තමයි වරකාපොළ රෝහල කිට්ටුවෙන් තියෙන බවත් එහෙට යන්න කියලත් මට කිව්වේ. ඒ එක් සහෝදරයෙක් මේ පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලා තියෙනවා දැක්කා. හරිම සතුටුයි.
මේ වගේ අනෙකෙකුගේ කරදරයකදී ඉක්මනින්ම උදව්වට එන, ලස්සන හදවත් තියෙන මිනිස්සු ඉන්න රටක ජීවත් වීමම වාසනාවක් කියලා මට හිතෙන්නේ. වෙනත් රටවලත් මා ජීවත් වෙලා අත්දැකීම් තියෙන නිසා ඒ ගැන වගකීමෙන් කියන්න පුළුවන්. පහුගිය කරදර කාලෙදිත් ලංකාව අත හැර යන්නේ නැතුව මෙහෙම රැඳෙන්නට තීරණය කළෙත් ඒ නිසාමයි .
ආදරෙයි හැමෝටම ඒ මනුස්සකමට ❤️ අපි හැමෝම ලංකාවේ නිදහස් අධ්‍යාපනයේත් නිදහස් සෞඛ්‍ය සේවයේත් පිහිටෙන් ජීවිතය හොයාගත්ත මිනිස්සු.
උපුටා ගැනීම - Sanjeewa siriwardhana
Post a Comment