අද දින විභාග වන නඩුවේදී පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රනිල් වික්‍රමසිංහ හිටපු ජනපතිවරයා සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා, අදාළ නඩු විභාගය වටා මෑතකදී සිදු වූ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් බරපතළ කරුණු කිහිපයක් පිළිබඳව අධිකරණයේ අවධානය යොමු කළේය.
සැකකරු රනිල් පැයක් තරම් හෝ කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ ගත කර නොමැති බව අධිකරණයට පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා,
එම කාරණය සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ මහේස්ත්‍රාත්වරයා විසින් බවත්, සැකකරු නිසි වෛද්‍ය මණ්ඩලයක් ලවා පරීක්ෂාවට ලක් කළ යුතු බවත් අවධාරණය කළේය.
පසුගිය සිකුරාදා පැවති නඩු විභාගයේදී අධිකරණ නියෝගය වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය තුළ සංසරණය කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම, සැකකාර රනිල් වික්‍රමසිංහ විත්ති කූඩුවේ සිටින අවස්ථාවේදී ඔහුගේ ඡායාරූප ගෙන ඒවා ද අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් අධිකරණයට දැන්වීය.
අධිකරණ නියෝගය ලබා දීමෙන් අනතුරුව, සංවිධානාත්මක කණ්ඩායමක් අධිකරණයෙන් පිටතදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්,
එම නියෝගය ‘පෑලවත්තෙන්’ ලබා දුන් එකක් බවට ප්‍රකාශ කර ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසීය. මෙවැනි ක්‍රියාවන් අධිකරණයට අපහාස කිරීමක් බව ඔහු එහිදී අවධාරණය කළේය.
නඩු කටයුතු ආරම්භ වීමටත් පෙර, සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බවට යූටියුබ් නාලිකා හිමිකරුවෙකු විසින් ප්‍රකාශ කර තිබූ බවත්, එම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බවත් ඔහු අධිකරණයට දැනුම් දුන්නේය. අධිකරණයට අපහාස කිරීමට හෝ එහි ගෞරවයට හානි පැමිණවීමට කිසිවෙකුටත් ඉඩ දිය නොහැකි බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
උපුටා ගැනීම : Gossip lanka news
Post a Comment