නිතරම බඩේ දැවිල්ලද? අජීර්ණයක්ද? මෙය පිළිකාවක ලකුණක් විය හැකිද?
"බඩේ දැවිල්ල", "ගැස්ට්‍රයිටිස්", "ගෑස්" වැනි වචන අපේ සමාජයේ ඉතා සුලබව ඇසෙන දේවල්.. උදරයේ ඉහළ කොටසේ ඇතිවන අපහසුතා රැසක් හැඳින්වීමට මෙම වචන භාවිතා කරත්, වෛද්‍ය විද්‍යාත්මකව මෙම රෝග ලක්ෂණ සමූහය "ඩිස්පෙප්සියාව" (Dyspepsia) හෙවත් අජීර්ණයලෙස හදුන්වනවා.
ගොඩක් අයට මෙය සුළු තත්ත්වයක් උනත්, සමහර විට එය බරපතල රෝගයක පෙර නිමිත්තක්වෙන්න පුලුවන්. . මෙම ලිපියෙන් අජීර්ණ රෝග ලක්ෂණ, හේතු, ප්‍රතිකාර සහ පිළිකාවක් දක්වා වර්ධනය වීමේ අවදානම පිළිබඳව අපි කතා කරමු.
"ඩිස්පෙප්සියාව" හෙවත් අජීර්ණය යනු කුමක්ද?
ඩිස්පෙප්සියාව යනු රෝගයක් නොව, උදරයේ ඉහළ කොටස ආශ්‍රිතව ඇතිවන රෝග ලක්ෂණ වල එකතුවක් ප්‍රධාන වශයෙන් පහත ලක්ෂණ එකක් හෝ කිහිපයක් තියෙන්න පුලුවන්.
• උදරයේ ඉහළ කොටසේ වේදනාව හෝ දැවිල්ල: බඩේ ඉහළ, මැද කොටසේ ඇතිවන තද වේදනාවක් හෝ දැවිල්ලක්.
• බඩ පුරවා දැමීම (Bloating): ආහාර ගත් විගස බඩ පිම්බී, තද ගතියක් දැනීම.
• ඉක්මනින් බඩ පිරීම (Early satiety): සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉතා සුළු ආහාර ප්‍රමාණයක් ගත් විගස බඩ පිරුණු බවක් දැනීම.
• ඔක්කාරය (Nausea): වමනය කිරීමට එනවා වැනි හැඟීම.
• නිතර ගුඩුස් යෑම (Belching).
• පපුවේ දැවිල්ල (Heartburn): ආමාශයේ අම්ලය ගලනාලය දිගේ ඉහළට ඒම නිසා පපුව මැද ඇතිවන දැවිල්ල.
අජීර්ණයට හේතු මොනවාද?
අජීර්ණ තත්ත්වය ඇතිවීමට හේතු රාශියක් බලපාන්න පුලුවන්. ඒවා ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා
1. ජීවන රටාව හා ආහාර පුරුදු:
• තෙල්, මිරිස් සහ තුනපහ අධික ආහාර ගැනීම.
• වේලාවට ආහාර නොගැනීම.
• එකවර විශාල ආහාර වේල් ගැනීම.
• ඉතා වේගයෙන් ආහාර ගැනීම.
• කෝපි, තේ, චොකලට් සහ මධ්‍යසාර අධිකව පානය.
• දුම්පානය.
• මානසික ආතතිය.
2. සැගවුණ වෙනත රෝග තත්වයක රෝග ලක්ෂණයක් ලෙස ඩිස්පෙප්සියාව පැවතීම
• ගැස්ට්‍රයිටිස් (Gastritis): ආමාශයේ ඇතුළත බිත්තියේ ඇතිවන ප්‍රදාහය.
• H. pylori බැක්ටීරියා ආසාදනය: ආමාශයේ ජීවත් වන මෙම බැක්ටීරියාව ගැස්ට්‍රයිටිස්, ආමාශයේ තුවාල සහ පිළිකා සඳහා ප්‍රධාන හේතුවකි.
• ආමාශයේ තුවාල (Peptic Ulcers): ආමාශයේ හෝ කුඩා අන්ත්‍රයේ ඉහළ කොටසේ ඇතිවන තුවාල.
• Gastroesophageal Reflux Disease (GERD):ආමාශයේ අම්ලය නිතර ගලනාලයට ගැලීම.
• පිත්තාශයේ ගල් (Gallstones).
• ඇතැම් ඖෂධ: ඇස්ප්‍රීන් (Aspirin), ඉබියුප්‍රොෆෙන් (Ibuprofen) වැනි වේදනානාශක දිගුකාලීනව භාවිතය.
• ක්‍රියාකාරී අජීර්ණය (Functional Dyspepsia):කිසිදු පැහැදිලි රෝගී තත්ත්වයක් නොමැතිව, ආමාශයේ ක්රියාකාරීත්වයේ ඇතිවන වෙනස්කම් නිසා රෝග ලක්ෂණ ඇතිවීම.
ප්‍රතිකාර ක්‍රම
ප්‍රතිකාර තීරණය වන්නේ රෝග ලක්ෂණවලට හේතුව මතය.
• ජීවන රටාවේ වෙනස්කම්: බොහෝ දෙනෙකුට ජීවන රටාව සහ ආහාර පුරුදු වෙනස් කිරීමෙන් පමණක් වුවද සහනයක් ලබා ගත හැක.
o කුඩා ආහාර වේල් කිහිපයක් දවස පුරා ගැනීම.
o තෙල්, සැර අධික ආහාර අවම කිරීම.
o ආහාර ගත් විගස නිදා නොගැනීම.
o දුම්පානය සහ මධ්‍යසාර නැවැත්වීම.
o මානසික ආතතිය පාලනය කිරීම.
• ඖෂධ ප්‍රතිකාර: වෛද්‍ය උපදෙස් මත පහත ඖෂධ වර්ග භාවිතා කෙරේ.
o ඇන්ටසිඩ්ස් (Antacids): ආමාශයේ අම්ලය තාවකාලිකව උදාසීන කරයි (උදා: Digene, Gelusil).
o ප්‍රෝටෝන පොම්ප නිෂේධක (PPIs):ආමාශයේ අම්ල නිෂ්පාදනය ප්රබලව අඩු කරයි (උදා: Omeprazole, Esomeprazole).
o H2 අවහිරකාරක (H2 Blockers): අම්ල නිෂ්පාදනය අඩු කරන තවත් ඖෂධ වර්ගයකි (උදා: Famotidine).
o H. pylori සඳහා ප්‍රතිකාර: මෙම බැක්ටීරියාව ආසාදනය වී ඇත්නම්, ප්‍රතිජීවක (antibiotics) සහ PPI ඖෂධ ඇතුළත් පාඨමාලාවක් නියම කෙරේ.
වඩාත් බරපතලම ප්රශ්නය: මෙය පිළිකාවක් විය හැකිද?
බොහෝ දෙනා බියවන කරුණ මෙයයි. අජීර්ණ රෝග ලක්ෂණ ඇති බහුතරයකට පිළිකාවක් නෑ. නමුත්, ආමාශයේ පිළිකා (Stomach Cancer) සහ ගලනාලයේ පිළිකා (Esophageal Cancer) වල මුල් අවධියේ රෝග ලක්ෂණ ලෙස අජීර්ණය ඇති වෙන්න පුලුවන්.
එබැවින්, පහත සඳහන් "අනතුරු ඇඟවීමේ ලක්ෂණ" (Red Flag Symptoms) එකක් හෝ කිහිපයක් ඔබට ඇත්නම්, වහාම වෛද්‍යවරයකු හමුවීම අත්‍යවශ්‍ය වේ.
• හේතුවක් නොමැතිව ශරීරයේ බර අඩුවීම.
• ආහාර ගිලීමේ අපහසුව හෝ වේදනාව (Dysphagia).
• නොනවත්වා වමනය කිරීම.
• ලේ වමනය කිරීම හෝ කෝපි කුඩු වැනි දෙයක් වමනය සමඟ පිටවීම.
• කළු පැහැති, තාර වැනි මළපහ පිටවීම (මෙය ජීර්ණය වූ ලේ නිසා සිදුවේ).
• රක්තහීනතාවය (ලේ අඩුකම) සහ ඒ නිසා ඇතිවන අධික තෙහෙට්ටුව.
• උදරයේ ගැටයක් අතට අසුවීම.
• වයස අවුරුදු 50-55 ඉක්මවූ පසු අලුතින් මෙම රෝග ලක්ෂණ ඇතිවීම.
මෙවැනි අනතුරු ඇඟවීමේ ලක්ෂණ ඇත්නම්, වෛද්‍යවරයා විසින් එන්ඩොස්කොපි පරීක්ෂණයක් (Endoscopy) සිදු කිරීමට බොහෝ විට නිර්දේශ කරනු ඇත. මෙහිදී කුඩා කැමරාවක් සවි කළ නලයක් මුඛය හරහා ආමාශය වෙත යවා, ගලනාලය සහ ආමාශය පරීක්ෂා කෙරේ. සැක සහිත ස්ථාන ඇත්නම්, කුඩා පටක කොටසක් (Biopsy) ලබාගෙන පිළිකා සෛල තිබේදැයි පරීක්ෂා කරනු ලබනවා
අපි අවධානයෙන් ඉන්න ඕනේ මොකද්ද???
අජීර්ණය(dyspeptic symptoms )යනු සුලබ තත්ත්වයක්. එය බොහෝ විට ජීවන රටාවේ වැරදි පුරුදු නිසා ඇතිවන අතර, සරල ප්‍රතිකාර මගින් පාලනය කරන්නපුලුවන්. . කෙසේ වෙතත්, රෝග ලක්ෂණ දිගටම තියනවා නම්, ඖෂධවලට ප්‍රතිචාර නොදැක්වීම හෝ ඉහත සඳහන් අනතුරු ඇඟවීමේ ලක්ෂණ පහළ වීම නොසලකා හරින්න එපා
එවැනි අවස්ථාවක වෛද්‍ය උපදෙස් පැතීමෙන්, යටින් පවතින බරපතල රෝගී තත්ත්වයක් (පිළිකාවක් වැනි) කල්තියා හඳුනාගෙන සාර්ථක ප්‍රතිකාර සඳහා යොමුවීමට හැකියාව ලැබෙනවා
Post a Comment