හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යළි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබා දිය යුතු බවට දේශපාලන ක්ෂේත්රය තුළ කතාබහක් නිර්මාණය වී තිබේ. කෙසේ වෙතත්, එවැනි ඉල්ලීමක් මෙතෙක් තම පෙරමුණ වෙත නිල වශයෙන් යොමු වී නොමැති බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පවසයි. හිටපු ජනාධිපතිවරයා ද තමාට මන්ත්‍රී ධුරයක් අවශ්‍ය බවට ඉල්ලීමක් කර නොමැති බව එම පෙරමුණේ නියෝජිතයෙකු සඳහන් කළේය.
පසුගිය මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් තරග කළේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ යටතේ සිලින්ඩරය ලකුණිනි.
එම පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සඳහා පත්කරනු ලැබුවේ රවී කරුණානායක සහ ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන්ය. ඒ අනුව, හිටපු ජනාධිපති වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාවක් ලබා දෙන්නේ නම්, එම මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් එක් අයෙකු සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු අතර, ඒ පිළිබඳ අවසන් තීරණය ගැනීමේ බලය හිමිවන්නේ ද නව ප්රජාතන්ත්රවාදී පෙරමුණටය.
මේ අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා ප්‍රකාශ කරන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සතු දැනුම සහ අත්දැකීම් රටට තවදුරටත් ලබාගත යුතු බවයි. ඔහුගේ සේවය රටට අත්‍යවශ්‍ය බව ඒ මහතාගේ අදහසයි.
රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවක් මත අත්අඩංගුවට පත්ව, පසුව ඇප මත මුදා හැරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවමත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ. ඔහු රෝහලෙන් පිටව යන දිනයක් පිළිබඳව වෛද්‍යවරුන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
Post a Comment