ශ්‍රී ලංකාවේ වයස්ගතම පුරුෂයා ලෙස ගාල්ල, කරන්දෙණිය, අගුළුගල්ල ප්‍රදේශයේ පදිංචි බොළඳ හකුරු මේනියල් මහතා ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය විසින් නිල වශයෙන් තහවුරු කර තිබේ. 1915 වසරේ ජුනි මස හතර වන දින උපත ලබා ඇති ඒ මහතා, මේ වන විට 110 වන වියෙහි පසුවන අතර, ඔහුගේ මෙම සුවිශේෂී තත්ත්වය ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ. ධර්මසිරි මහතා විසින් ද සනාථ කරනු ලැබ ඇත.
පස්වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබා ඇති මේනියල් මහතාට ලිවීමේ හා කියවීමේ හැකියාව පවතී. දරුවන් නව දෙනෙකුගේ ආදරණීය පියෙකු වන ඒ මහතාගේ දිගුකාලීන නිරෝගී දිවි පැවැත්මට හේතු වී ඇත්තේ වස විසෙන් තොර සරල ආහාර රටාව සහ ක්‍රියාශීලී ජීවන රටාව බව පවුලේ සාමාජිකයෝ පවසති.
කුඩා කල සිටම කෘෂිකාර්මික කටයුතුවල නිරත වූ ඔහු, ගොවිතැන හා කුරුඳු වගාව සිය ජීවිකාව කර ගනිමින් කැත්ත හා උදැල්ල සමීපතම මිතුරන් කරගෙන තිබේ.
අවුරුදු අනූ පහක් වන තුරුම ගමේ පිරිත් සජ්ඣායනාවන්ට සහභාගී වෙමින් ආගමික මෙන්ම සමාජීය කටයුතුවල ද නිරත වූ මේනියල් මහතා, ගම්වැසියන් අතර බෙහෙවින් ගෞරවයට පාත්‍ර වූවෙකි. වර්තමානයේද කිසිදු බරපතළ රෝගාබාධයකින් තොරව යහපත් මතක ශක්තියකින් යුතුව ඔහු දිවි ගෙවයි.
ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය මගින් පිරිනමන සියවස් දීමනාවේ හිමිකරුවෙකු ද වන මේනියල් මහතා, සිය ආදරණීය බිරිඳ මෙලොව හැර ගොස් ඇතත්, දරුවන්ගේ හා මුණුබුරන්ගේ සෙනෙහස හා රැකවරණය මැද සතුටින් කාලය ගත කරයි. පසුගියදා ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ද ඒ මහතාගේ නිවසට පැමිණ සුවදුක් විමසා බැලීම විශේෂත්වයකි.
Post a Comment