හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්මතවීමත් සමග, තමන් මාස දෙකක් ඇතුළත නිල නිවෙසින් ඉවත් වන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය 1994 සිට 2005 දක්වා කාලයේ ජනාධිපති ධුරය හෙබවූ අතර,
ඇය මෙසේ පැවැසුවේ ඬේලි මිරර් පුවත්පත සමඟ අදහස් දක්වමිනි. නව නීතිය ක්‍රියාත්මකවීමත් සමඟ, තමන්ගේ ඉදිරි පියවර සම්බන්ධයෙන් ඇය අදහස් දක්වමින් කියා සිටියේ, කොළඹ නගරයේ පදිංචිය සඳහා නිවෙසක් සොයාගෙන ඇති බවත්, දැනට එහි අලුත්වැඩියා කටයුතු ලහිලහියේ සිදුවෙමින් පවතින බවත්ය. රජයේ නිවෙසක පදිංචි වී සිටින ඕනෑම කෙනකුට ඉවත්ව යෑමට මාස තුනක දැනුම්දීමක් ලබාදෙන නමුත්, තමන්ට එසේ දැනුම්දීමක් කර නැතැයි ද කුමාරතුංග මහත්මිය පැහැදිලි කළාය.
අලුත්වැඩියා කටයුතු කඩිනමින් අවසන් වුවහොත් මාස දෙකකටත් අඩු කාලයකින් තමන් නිල නිවෙසින් පිටත්ව යන බව ද කුමාරතුංග මහත්මිය අවධාරණය කළාය. සති තුනකට පෙර තමන් හදිසි අනතුරකට මුහුණ දුන් බවත්,
සැත්කමකට ලක්වුණු බවත් දැන් සුවය ලබමින් සිටින බවත් කුමාරතුංග මහත්මිය වැඩිදුරටත් පැවැසුවාය. නිවසේ ඉහළ සහ පහළ මහල අතරේ යෑම ද මේ වන විට තමන්ට අසීරු බව ඇය පෙන්වා දුන්නාය.
“ මට සුළු අලුත්වැඩියාවක් සහිත කුඩා නිවසක් හමුවුණා. අලුත්වැඩියා කටයුතුවලට මගේ පුතා ඇවිත් සතියක් උදව් කරනවා. ඒ අතරතුර, සති තුනකට කලින් මම වැටිලා උකුල් අස්ථිය බිඳුණා. සැත්කමක් කරන්නත් සිද්ධ වුණා” ඇය ඩේලිමිරර් පුවත්පතට අදහස් දක්වමින් කීවාය.
නව නීතිය ක්‍රියාත්මක වීමට පෙර, දැනට පදිංචිව සිටින නිල නිවෙස, ජීවිතාන්තය දක්වා රජය තක්සේරු කරන කුලී මුදලක් ගෙවමින් රැඳී සිටීමට අවසර ඉල්ලා තමන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යොමු කළ බවත් තමන් කළ එම ඉල්ලීම ප්‍රතික්ෂේප වූ බවත් කුමාරතුංග මහත්මිය පැහැදිලි කළාය.
වසර 15ක් ඇතුළත පිළිකා රෝගී තත්ත්වයන් දෙකකින් දිවි ගලවා ගත් තමන්ට, මහලු වියේදී තමන් රැඳී සිටින නිල නිවෙසින් ඉවත්ව යෑම අපහසු බැවින් නව විධිවිධාන යටතේ රැඳී සිටීමට තමන් ජනාධිපති අනුර කුමාර මහතාට පැහැදිලි කළ බවත්, නිල නිවෙසේ අලුත්වැඩියා සඳහා මුදල් ගෙවන්නත් තමන් කැමැත්ත පළ කළ බව ද හිටපු ජනාධිපතිනිය පැවැසුවාය. එමෙන්ම, නිල නිවෙසේ, අලුත්වැඩියා සඳහා රුපියල් මිලියන 14ක් තම අතින් ගෙවා ඇති බව ද ඇය සඳහන් කළාය.
“මම නිල නිවසට එද්දී තණකොළ ගසක්වත් තිබුණේ නැහැ. තිබුණේ බොරලු විතරයි. මම භූමි අලංකරණය කළා. ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඒ සඳහා මුදල් දුන්නේ නැහැ. මාගේ වියදමින් තමයි. සියල්ල කළේ “ යැයි හිටපු ජනාධිපතිනිය පැවැසුවාය. වත්මන් ආණ්ඩුව විසින් විශ්‍රාමික ජනාධිපතිවරුන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන නමුත් එම විමර්ශන පවත්වන ජනාධිපතිවරුන් අතරේ තමන් නොමැති බවත් කුමාරතුංග මහත්මිය අනුර කුමාර ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් කළ බව ද පැවැසෙයි.
“අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ වේදිකාවල කෑ ගහන්න පටන් ගත්ත දවසේ ඉඳන්ම රටේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියලා වචනයක්වත් කිව්වේ නැහැ. ඔවුන් කතා කළේ දූෂණය ගැන විතරයි. ඒක හොඳයි. ඒත්, ඔවුන්ට ඔවුන්ගේම ආණ්ඩුවේ දූෂණ වළක්වන්නේ කොහොමද කියලා තවම අවබෝධයක් නැහැ. ඔවුන් හොරු අල්ලනවා කියලා විතරයි. කෑ ගහන්නේ. රට දියුණු කිරීමක් ගැන වචනයක්වත් කියන්නේ නැහැ. අධ්‍යාපනය අවුල්. සෞඛ්‍ය සම්බන්ධයෙන් තවීම දැක්මක් නැහැ. ඔවුන්ට තිබුණු අනිත් එකම සටන් පාඨය හිටපු ජනාධිපතිවරුන් ඔවුන්ගේ නිල නිවෙස්වලින් පන්නා දැමීම.” යැයි කුමාරතුංග මහත්මිය වැඩිදුරටත් පැහැදිලි කළාය.
කැලුම් ඛණ්ඩාර (ඩේලි මිරර්)

Post a Comment