සමහර සිදුවීම් අපේ ජීවිතවලට එක්කරන්නේ කියාගන්න බැරි දුකක්, පාළුවක්, ඒ වගේම පාඩුවක්..
මේ අන්න ඒ වගේ අතිශ්‍යය සංවේදී තවත් එක් සිදුවීමක්. කලක පටන් එකටම හිටිය මිතුරන් දෙදෙනෙක්. ජීවිතයේ බොහෝ කාලයක් කට්ටක් කාලා ස්ථාවරයකට එන්න ඔවුන් හීන දැක්කේ බොහෝ කලකට පෙර සිටමයි.. ඒත් ඒ හීනය ටිකෙන් ටික සැබෑවක් බවට පත් වෙද්දී, තමන්ගේ හොඳම මිතුරා කිසිදාක අදහාගන්න බැරි විදිහේ කතාවක් තමන්ගේ මිතුරෙකුට කියනවා. ඒ ඔහු මේ සියලු දේ අත්හැර පැවිදි වෙන්න යනවා කියන ඒ ආරංචිය. එදා ඒ ආරංචිය ඇසුණු මොහොතේ අමාරුවෙන් හරි සුබපැතුවත්, අද මේ ඇසෙන ආරංචියෙන් නම් ගිහිකල මේ ස්වාමීන්වහසේගේ මිතුරු කැල කම්පනයට පත්ව සිටිනවා. අපවත්වීවදාල පූජ්‍ය පන්නිපිටියේ ඉන්ද්‍රභාෂිත හිමි ගැන ලියැවුණු ඒ සංවේදී සටහනයි මේ..
“උඹට නිවන දුර නෑ…….!!
“මචං චරියා … මම රිසයින් වෙනවා…”
මීට අවුරුදු හයකට කලින් උඹ මගේ සීට් එකට ඇවිත් කිව්වම මම පුදුම වුණා…
වෙනදා ඉසුරු මගේ ළඟට එන්නෙ ටීශර්ට් එකක් කලිසමක් මැච් කරන්න පාට අහන්න.. එක්කො අළුතින් ආපු ෆිල්ම් එකක් ගැන කතා කරන්න.. එක්කො පොතක් ඉල්ලගන්න හෝ දෙන්න.. ඉතින් පුදුම නොවී කොහොමද?
“පිස්සුද යකෝ ?.. යස අගේට අවුරුදු පහක් විතර වැඩ කරලා සෙට්ල් වෙලා හොඳ සැලරි එකක් අරන් , වාහනෙත් අරන් ගේත් හැදුවට පස්සෙ මොන මගුලක්ද මේ…?”
මම පුදුම වුණා…
“නෑ මචං.. මගේ අරමුණ උඹලාගෙ වගේ සරල එකක් නෙමේ..”
“ඒ කිව්වෙ.. උඹ රට යන්නද?”
“නෑ….මම මහණ වෙනවා…!”
රිසයින් වෙනවා කිව්වාටත් වඩා ශොක් එකක් ඒ වෙලාවෙ මට දැනුනෙ..
ඒත් ඉසුරු අපිත් එක්ක එකට වැඩ කළ කාලේ පුරාවටම එයා හරි අමුතු මිනිහෙක් කියලා මට තේරුනා.. එදා ඒක තහවුරු වුණා..
ඉස්සර අපි හැම මාසෙම අන්තිම සිකුරාදා සෙට් වෙනවා බොන්න.. ඉසුරුත් ඒ හැම පාටියකටම එනවා.. සිංදු කියනවා, නටනවා, ඒත් කවදාවත් බොන්නෙ නෑ.. හැබැයි බොන උන්ට බනින්නෙත් නෑ.. බයිට් අහුරක් කකා බොන උන් දිහා පැත්තකට වෙලා හිනා වෙවී බලන් ඉන්නවා අද වගේ මතකයි..
හැමදාම අපි හවස හත අට වෙනකල් වැඩ.. සොෆ්ට්වෙයාර් ෆීල්ඩ් එක කියන්නෙ අටට ඇවිත් පහට ඕෆ් වෙන රස්සාවක් නෙමේ.. ඒ දවස් වලට රෑ අපි වැඩ කරන ගමන් වාද විවාද.. ඒ එක විවාදෙක හරි දේශපාලනය හෝ ආගම ගැන ගෑවෙනවා නම් ඉසුරු තමයි ඒ වාදෙ මූලිකයා වෙන්නෙ…
මිනිහාගෙ කතා අහන් ඉන්න හරි ආසයි.. බොහොම තාර්කිකයි, ඉතා පැහැදිලියි, ඒ වගේම අපි ඊට විරුද්ධ නම් බොහොම සාවධානව අපේ කතාවත් අහන් ඉන්නවා… කේන්ති ගන්නෙ නැති ම තරම්.. අපේ තර්ක බිඳින්න පුළුවන් නම් බිඳිනවා නැත්නම් තමන්ගෙ කතාවෙ වරද පිළිගන්නවා..
ලංකාවෙ අංක එකේ පෞද්ගලික ආයතනයක පරිඝණක ඉංජිනේරු රස්සාවකින් අස්වෙලා, ගේ දොර ඉඩකඩම් සේරම සහෝදරයන්ට ලියල දීලා, අළුතෙන්ම ගත්තු වාහනෙත් දීලා, පොඩි වයසෙන්ම ඉසුරු මහණ වෙන්න ගියෙ නිකම්ම නෙමේ.. එයාට ලොකු අරමුණක් තිබ්බා, එහෙම නොවෙන්න ලස්සන ගිහි ජීවිතයක් දාලා එයාට යන්න තරම් සාධාරණ හේතුවක් තිබ්බෙ ම නෑ..
එයා ඒ ගමන ගියෙ නිවන හොයන්…
මහණ වෙන්නන් වාලෙ මහණ නොවී, නිරවුල් අරමුණක් ඇතිව නිවන හොයන් චීවරේට ගිය “අපේ හාමුදුරුවො” අද උදේ අපවත් වෙලා..
පහුගියදා ඩක්කුව කඩන් වැටිලා උන්නාන්සෙ රෝහලේ දැඩි සත්කාරෙ ඉන්නවා කියලා ආරංචි වුන වෙලාවෙ ආපු කම්පණය අද ආපු මේ ප්‍රවෘතියත් එක්ක දෙගුණ තෙගුණ වුනා..
මේ අමුණලා තියෙන පින්තූරෙ අපි දෙන්නා ට්‍රිප් එකක් ගිය වෙලාවක එකම බෝට්ටුවෙ එක ලඟ ඉන්නවා.. එදා එක බෝට්ටුවෙ ගිය අපි දෙන්නාගෙන් ඔයා අද දැන් එගොඩට ලංවෙලා ඇති.. ඒත් අපි තාම ඒ බෝට්ටුවෙ ඉවුරක් හොය හොයා යනවා..
ඔයාට නිවන දුර නෑ “අපේ හාමුදුරුවනේ…!””
Post a Comment