රුපියල් ලක්ෂ තිස්හයක වටිනාකමකින් යුත් ව්‍යාජ බදු ඔප්පුවක් මගින් නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට් ආයතනයට අයත් දෙහිවල පිහිටි ඉඩමක් හා ගොඩනැගිල්ලක් වංචනික ලෙස බදු දීමේ සිද්ධිය සම්බන්ධයෙන් නම් කර ඇති නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් සහ අමාත්‍ය වසන්ත සමරසිංහ යන අය අත්අඩංගුවට ගන්නා ලෙස කළ ඉල්ලීමක් (26) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් ඉවත දමන ලදී.
මූලික පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා මෙම ඉල්ලීම සිදු කළ ද, එය ප්‍රතික්ෂේප වූ බව අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
මහේස්ත්රාත්වරයාගේ තීරණයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ විමර්ශන ගොනුව දැනටමත් නීතිපති උපදෙස් සඳහා යොමු කර තිබීම, මේ සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය සිදු කළ විමර්ශනවලට අනුව අපරාධමය වරදක් සිදුවී ඇති බවට කරුණු හෙළි වී නොමැති බවට තොරතුරු අනාවරණය වීමයි.
අධිකරණයට දැනුම් දී ඇත්තේ අදාළ විමර්ශන ගොනුව නීතිපති උපදෙස් සඳහා 2025 පෙබරවාරි 19 වන දින යොමු කළ බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ව නඩු වාරවලදී, ගල්කිස්ස හිටපු මහේස්ත්‍රාත්වරියකගේ නියෝගයක් මත එම පුද්ගලයන් කිහිප දෙනෙක් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබා දී ඇත.
සියලු ප්‍රකාශ සටහන් කිරීම අවසන් බවට වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන් අතර, වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රකාශයේ සඳහන් වූයේ 2020 වර්ෂයේදී නැෂනල් වර්කර්ස් කොංග්රස් වෘත්තීය සමිතියේ විධායක කමිටු තීරණයකට අනුව, තමන් අදාළ ඉඩම බදු දීමේ කටයුතු සඳහා පෙනී සිටි බවයි.
අගතියට පත් පාර්ශ්වය නියෝජනය කළ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා, පසුගිය නඩු වාරයේදී දැඩි චෝදනා එල්ල කළේය.
සඳහන් කළේ, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අධිකරණය දෙවරක් පැහැදිලි නියෝග ලබා දී තිබුණද, පොලිසිය එම නියෝග ක්‍රියාත්මක නොකරන බවයි.
තවද, පොලිසිය “නීතිපති උපදෙස් අවශ්‍ය” බව පවසමින් අධිකරණය නොමඟ යවන බවට ද ඔහු චෝදනා කළේය.
ඊට අමතරව, ආයතනයේ නීත්‍යානුකූල නිලධාරීන් සිටියදී, වසන්ත සමරසිංහ මහතාට එම ඉඩම බදු දීමට කිසිදු නෛතික හැකියාවක් නොමැති බවට ද ඔහු අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මෙම නඩුව පිළිබඳ වැඩිදුර විභාගය සඳහා 2026 පෙබරවාරි මස 27 වැනිදා යළි කැඳවීමට නියමිතයි.
source – newswire
Post a Comment