වත්මන් රජය පාතාල නායකයන් ගෙන්වීමට ඉහළ ප්රමුඛත්වයක් දෙමින්, ගොවියා මහමඟට ඇද දමා රණවිරු දඩයමක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි. ඔහු මේ බව සඳහන් කළේ ඉකුත් අගෝස්තු 31 වන දින මාතලේ දිස්ත්‍රික්කයේ, ලග්ගල, නාවුල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.
දේශීය ලොකු ලූනු, අර්තාපල් සහ වී ගොවියා ඇතුළු සමස්ත ගොවි ජනතාවට රජය ලබාදුන් පොරොන්දු ඉටු කර නොමැති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා,
විදේශීය කෘෂි භෝග සඳහා මග පාදා දෙමින් දේශීය ගොවියා විනාශ කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවට ද චෝදනා කළේය. තම පාලන සමයේ අරමුණ වූයේ රටට අවශ්‍ය සියල්ල දේශීයව නිෂ්පාදනය කිරීම බවත්, ගොවියාගේ නිෂ්පාදනයට මිලක් ලබාදීම ආණ්ඩුවක වගකීම බවත් රාජපක්ෂ මහතා පැවසීය.
එහෙත් වත්මන් කෘෂිකර්ම අමාත්‍යවරයා ‘වවලා කන’ ප්‍රතිපත්තිය අතහැර ‘ගෙනැවිත් කන’ ප්රතිපත්තියකට මාරු වී ඇති බවත්, මැතිවරණයට පෙර ජනතාවට එවැනි පොරොන්දුවක් නොදුන් බවත් ඔහු විවේචනය කළේය.
මේ දිනවල මාතලේ දිස්ත්‍රික්කයේ ලොකු ලූනු අස්වනු නෙළන සමයේදී, විදේශයෙන් විශාල වශයෙන් ලූනු ගෙන්වා රුපියල් හතළිහක බද්දක් පැනවුවද, දේශීය ගොවියාට නිසි මිලක් නොලැබෙන තත්වයක් උදා වී ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමය අවසන් වීමට එක් හේතුවක් වූයේ ගොවියා නිවැරදිව හඳුනා නොගැනීම බව පිළිගත් නාමල් රාජපක්ෂ මහතා, “ගමන වැරදුණු තැන හඳුනාගෙන, එම තැනින්ම නැවත නැගිටීමට” තමන් නායකත්වය දෙන බවට ජනතාව හමුවේ ප්‍රතිඥා දුන්නේය.
source – Gossip Lanka news
Post a Comment