ආපසු ඒම යනු ජීවත් වීම නොවේ
පෝලිම අවසානයේ සිටි මිනිසා දෙස බැලූ විට ඇගේ හදවත ගල් ගැසුණි. මෙය සිදුවිය නොහැක්කකි. මාස එකොළහකට පෙර යුද්ධයට ගිය තම පෙම්වතා නිරෝගීව, ශක්තිමත්ව සිටි අයුරු ඇගේ දෑස් ඉදිරිපිට මැවී පෙනුණි. යුද්ධයට යන්නට පෙර ඔහු සිටියේ නිරෝගීව, ශක්තිමත්ව ය. ඔහුගේ උරහිස් පුළුල් වූ අතර, දෑසෙහි තිබුණේ ස්ථීර අධිෂ්ඨානයකි. එහෙත් දැන්, ඔහු ඇටසැකිල්ලක් පමණි. ඔහුගේ මුහුණේ තිබූ ආලෝකය මැකී ගොස්, දෑස් තුළ වූයේ අඳුරු හිස් බවකි.ඇය හිස දෙපසට වනමින් තමාගේ මනසට එන සිතුවිලි දුරලීමට උත්සාහ කළාය. “නැහැ, මේක වෙන්න බෑ! මේ ඔහුම වෙන්න බෑ.” ඇය තමන්ටම මුමුණා ගත්තාය.
එහෙත්, ඔහුගේ ඇස් ඇය දෙස බැලූ විට, ඇගේ මනසට සියල්ල පැහැදිලි විය. මේ ඇගේ පෙම්වතාමයි. මාස එකොළහක් පුරා, තමාට මුණ නොගැසුණු, තමා ආදරය කළ මිනිසා මොහුයි.
ඇය ඔහුව වැළඳ ගත්තාය.
“මම දන්නවා. මම දන්නවා ඔයා ආපසු එනවා කියලා,” ඇය කීවේ කඳුළු පිරි දෙනෙතිනි.
ඔහු ආපසු නිවසට පැමිණියත්, සම්පූර්ණයෙන් ආවේ නැත.
මුලින්, ඇය සිතුවේ සති කිහිපයක් ඇතුළත සියල්ල යථා තත්ත්වයට පත් වනු ඇති බවයි. නමුත් දින ගෙවී ගියේ සිතූ පරිදි නොව, වෙනස් ආකාරයකටය. ඇය ආදරය කළ මිනිසාගේ ශරීරය ආපසු පැමිණියත්, ඔහුගේ සිත තවමත් සිර මැදිරියේ සිරවී සිටින බව ඇය තේරුම් ගත්තාය. රාත්‍රියේ දී ඔහු අඳුරට බිය විය. විදුලි ආලෝකය නිවා දැමූ විට, ඔහුට මතක් වූයේ අන්ධකාරය හා කුණු ගඳ වූ සිර මැදිරියයි. දොර සීනුව නාද වන විට ඔහු එකවරම තැති ගත්තේය. ඔහුට මතක් වූයේ ප්‍රශ්න කිරීම් සඳහා පැමිණි සොල්දාදුවන්ය.
“එතැන අහසක් තිබුණේ නැහැ,” දිනක් ඔහු ඇයට පැවසීය. “තිබුණේ කුණු වූ දුගඳයි, රසක් නැති කැඳයි, සෙවණැලි වගේ මිනිස්සුයි විතරයි.”
ඔහුට පහර දුන් පටිය, ඇඟ සීතලෙන් පිච්චෙන තුරුම වත් කළ වතුර, සහ කොන්ක්‍රීට් බිම මත ගත කළ වෙව්ලන රාත්‍රීන් ඔහුගේ සිතේ සදාකාලිකවම තැන්පත්ව තිබිණි.
“අපි ගණන් කළේ මිනිස්සු නෙවෙයි, සෙවණැලි,” ඔහු පැවසුවේ හිස් බැල්මකිනි.
ඇය ඔහුව නැවත සාමාන්‍ය ජීවිතයට ගෙන ඒමට නොයෙකුත් උත්සාහයන් ගත්තාය. ඇය ඔහුට කැමතිම කෑම සාදා දුන්නාය. ඔහුගේ ප්‍රියතම චිත්‍රපට නැරඹීමට ඔහුව පොළඹවා ගත්තාය. නමුත් ඔහු යතාතත්වයට ගෙනඒමට නොහැකි විය.
දිනක් ඇය ඔහුට ළං වී, ඔහුගේ මුහුණ අතගා, “යුද්ධය ඉවරයි, ඔයා ආරක්ෂිතයි ,මම ඔයාට ආදරෙයි..,” කියා පැවසුවාය.
ඔහුගේ දෑස් ලොකු වී කඳුළු පිරී ගියේය. ඔහු මදක් ඉවතට හැරී, “ඇතුළට එන්න එපා. මම තවම එතැනින් පිටවෙලා නැහැ,” යනුවෙන් මුමුණමින් ඇයව ප්‍රතික්ෂේප කළේය.
කඳුළු පිරි ඔහුගේ දෑස්වලින් ඇයට තේරුම් ගියේ ඔහුට ඇයව හඳුනාගත නොහැකි වූ බවයි.
වෙඩි උණ්ඩ හෝ බෝම්බ නොතිබුණත්, යුද්ධය දිගටම පැවතුණි. ඒ ඔවුන්ගේ නිවසේ නිහඬතාවය තුළ, ඔහුගේ මතකයන් සමඟ ඇය කළ ඒ අසීරු සටන් තුලයි.
ඔහු සිතින් තවමත් සිර මැදිරියේ සිරවී සිටියි. ඇය කොතරම් උත්සාහ කළත්, ඔහුගේ ආත්මය යුද්ධයේ බිහිසුණු අත්දැකීම්වලින් මුදවා ගැනීමට නොහැකි විය.
අවසානයේ ඇය තේරුම් ගත්තා, ඇයට කළ හැක්කේ ඔහුට ආදරය කිරීම සහ ඔහුට සෙමින් ආපසු පැමිණීමට ඉඩ දීම පමණක් බව.
“මම මෙහි සිටිනවා,” ඇය ඔහුට පැවසුවාය. “ඔබ නැවත එන තුරු මම ඔබ වෙනුවෙන් බලා සිටිනවා.”
ඔවුන් තවමත් යුද්ධයේ අවසාන ප්‍රතිඵල සමඟ සටන් කරමින් සිටියහ.
ඔවුන් සිතුවේ යුද්ධය අවසන් වූ පසු සියල්ල හොඳින් විසදේවි කියාය.
නමුත් සමහර තුවාල සමට වඩා ගැඹුරට විහිදෙන නිසා තුවක්කු නැවතුණු පමණින් සියලු යුද්ධ අවසන් නොවනු ඇත.💔
Credit – Madhu Weerasooriya
Post a Comment