සමහර ජයග්‍රහණ ජීවිතයට එක්කරන්නේ පුදුමාකාර ආශිර්වාදයක්. මේ අන්න ඒ වගේ දිරිය දියණියක් ගැන ඇසෙන කතාවක්.
කටේ කිරි සුවඳ යන්නටත් මත්තෙන් ලොකු ලොකු වැඩ කරන්නට උපන් හපන්නියක් ගැන අපිට අසන්නට ලැබුණේ නුවර පළාතෙන්. බෝනික්කෝ සමඟින් නැළැවෙන කාලයක ඇය සැනසුනේ හරි අපූරු අන්දමටයි. ඒ පරිගණකයත් සමඟයි. මුලින්ම ඇය, තනිව විද්‍යුත් ලිපිනයක් නිර්මාණය කළා. ඒ වන විට ඇය තුන් හැවිරිදි වියේ පසුවූවා. මේ අරුම පුදුම දැරිය වශින්‍යා ප්‍රේමානන්ද් නම් වුණා.
මීට දස වසරකට පෙර ද ඇය ගැන කතා අපට අසන්නට ලැබුණා. ඒ වනවිට ඇය 11 වැනි වියේ පසුවූවා. එදා ඇය ගැන කතා කළේ තොරතුරු තාක්ෂණය පිළිබඳ බී.එස්.සී උපාධිය එම වයසේ දී සමත් වූ ලොව ප්‍රථමයා වීම නිසායි.
දැන් නැවතත් ඇය ගැන කතා කරන්නට සිදුවුණා. ඒ, 21 වැනි වියේ දී ව්‍යාපාර කළමනාකරණ අංශයෙන් ආචාර්ය උපාධිය ලබා ගැනීම හේතුවෙන්.
එම හපන්කම අඩුම වයසින් කළ දෙස් විදෙස් ශිෂ්‍ය නාම ලේඛනයේ දැන් ඉහළින්ම ලියැවී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ වශින්‍යා ප්‍රේමානන්ද් (Vashinyaa Premanand) ගේ නමයි.
සිය අධ්‍යාපන ගමන් මගේ විවිධ වූ කඩඉම් සම්මත වයස් සීමාවට පෙර පසු කිරීමේ අරුම පුදුම ඡන්ම හැකියාවක් ඇය සතුව තිබෙනවා. ඒ ඇගේ මන් මග නම් විශ්මිතයි.
ඇය තනිව විද්‍යුත් ලිපිනයක් නිර්මාණය කළේ තුන් හැවිරිදි වියේදී යි. අපොස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට 2010 වසරේ දී පෙනී සිටින විට ඇයට යන්තම් අවුරුදු 08 සම්පූර්ණකර සිටියා. එදා ඇය සමත් වූයේ A සමාර්ථයක් ලබා ගනිමිනි. තොරතුරු තාක්ෂණය පිළිබඳ බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ සහතික ලත් උපාධිය (BCS IT Degree) සඳහා මූලික ඉගැනුම් කටයුතු අවුරුදු 08 දී ආරම්භ කළ ඇය වසර තුනක දී එය සම්පූර්ණ කළේ ඇගේ වයසේ දරුවන් පහේ ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් වෙත්දීයි.
ඉන් නොනැවතුණු ඇය එක්සත් රාජධානියේ වෙස්ට් ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය (Master Of Business Administration) අවුරුදු 17 දී ලබා ගත්තා.
ඒ එම උපාධියට 20 වැනි වියේ දී හිමිකම් කියමින් අඩුම වයසින් උපාධිය සම්පූර්ණ කිරීමේ ගෞවරය දිනා සිටි ඇමරිකා එක්සත් ජනපදයේ Harrison Show දෙවැනි තැනට තල්ලු කරමිනි.
වශින්‍යා ගේ පියා එම්.ප්‍රේමානන්ද් නඩරාජා වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකි. මව ලක්ෂි ප්‍රේමානන්ද් ශක්තිවේල්ය. ඔවුන් දෙදෙනාම ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් (MBA) උපාධිධාරීන් ය. ඔවුන් දෙදෙනාගේ කැදැල්ලට වශින්‍යා එක්වූයේ 2002 මැයි 13 වැනිදා යි.
ඇය පවුලේ එකම දරුවා යි. මේ නිසාම වශින්‍යා කුඩා කළ සිටම ඔවුන් රැක බලා ගත්තේ මලක් හා සමානව යැයි කිවහොත් එය නිවැරදියි. පරිගණක උපදේශිකාවක ලෙස ජත්‍යන්තර පාසලක සේවය කළ වශින්‍යා ගේ මව රැකියාවට සමුදී නිවසේ නතර වූයේ ද ඒ නිසාය.
මව පරිගණක උපදේශිකාවක වූ නිසා වශින්යාට ද කුඩා කළ සිටම පරිගණකය සමීප වුණා. සෙල්ලම් කිරීමට පියා රැගෙන ආ බෝනික්කන් පසෙකට දමා ඇය වැඩිපුර කාලය ගත කළේ පරිගණකය සමඟයි. කියා දෙන ඕනෑම දෙයක් ක්ෂණයෙන් තේරුම් ගැනීමේ හැකියාවක් දියණියට ඇති බව තේරුම් ගත් ලක්ෂි පරිගණකය වෙතින් දියණිය ඈත් නොකර එහි ක්‍රියාකාරකම් කරන්නට ඇයට ඉඩ දුන්නා.
අවුරුදු තුනක් තරම් වූ කුඩා වයසේ දී වශින්‍යා තනිවම විද්‍යුත් ලිපිනයක් නිර්මාණය කරන්නේ මෙම පසුබිම තුළයි. වශින්‍යා තනිව වෙබ් අඩවියක් නිර්මාණය කළේ අවුරුදු 09 සම්පූර්ණ වීමටත් පෙරයි. එම ක්රියාකාරමෙන් ඇයට ලොව ප්‍රථමයා නොවී දෙවැන්නා වන්නට සිදුවූයේ ඉන්දියානු දරුවෙකු 08 හැවිරිදි වියේ දී එම දස්කම සිදුකර තිබීම හේතුවෙන්.
අවුරුදු 10 සම්පූර්ණ වීමට පෙර වශින්‍යා ඊ කොමර්ස් හා වෙබ් ඉංජිනේරු ඩිප්ලෝමාව ද අන්තර් ජාතික පරිගණක බලපත්‍රය ද (Inteational Computer Driving License) ලබා ගත්තා.
ව්‍යාපාරිකයෙකු වූ පියා කර්යබහුල බැවින් වශින්‍යා පසුපස සෙවනැල්ලක් මෙන් සිටිමින් අධ්‍යාපනයේ කඩඉම් පසු කරන්නට ඇයට යෝධ ශක්තියක් වූයේ මව යි. දියණියගේ ජයග්‍රහණවල ආරම්භය පිළිබඳව ලක්ෂි ප්‍රේමානන්ද් ශක්තිවේල් මෙසේ විස්තර කළාය.
“අවුරුදු තුන සම්පූර්ණ වෙත් දී අපි වශින්යාව කුරුණෑගල ජාත්‍යන්තර පාසලකට ඇතුළු කළා. අවුරුදු දෙකක් පෙර පාසල් අධ්‍යාපනය ලබාදීම තමයි අපේ අරමුණ වුණේ. එහෙත් අවුරුද්දක දී මෙයා අවුරුදු දෙකේම වැඩ ඉවර කළා. අනෙක් දරුවන්ට වඩා කලින් මෙයාට යමක් අවබෝධ කර ගැනීමේ හැකියාව තිබෙනවා නේද කියලා අපිට මුලින්ම තේරුණේ මේ කාලයේදී යි. අවුරුදු පහේ දී අපි දුවව මහනුවර පිහිටි කොළඹ ජාත්‍යන්තර පාසලට ඇතුළු කළා. පළමු පන්තියේ වැඩ මාස දෙක තුනකින් මෙයා අල්ල ගත්තා. පළමු පන්තියේ අධ්‍යාපනය ලබද්දී දෙවැනි පන්තියේ ළමයින්ගේ වැඩත් කරන්න තරම් දැනුමක් වශින්යාට තිබුණා. මේ නිසා එයාව දෙකේ පන්තියට නොදමා ඩබල් ප්‍රමෝෂන් දීලා තුනේ පන්තියට දාන්න ගුරුවරු තීරණය කළා.
හතරේ පන්තියේ දී ආයෙත් ඩබල් ප්‍රමෝෂන් එකක් ලැබිලා හයේ පන්තියට ගියා. දෙපාරක්ම ඩබල් ප්‍රමෝෂන් ලැබුණු නිසා අවුරුදු 13 දී වශින්යාට සාමාන්‍ය පෙළ විභාගය කරන්න පුළුවන් වුණා. එහි දී විෂයන් නවයටම A සමාර්ථ ගත්තා. අනතුරුව ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයට සූදානම් වන අතර තුර අවුුරුදු 15 දී එක්සත් රාජධානියේ වෙස්ට් ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය (Master Of Business Administration) සඳහා අධ්‍යාපන කටයුතු ආරම්භ කළා.
වයස කිසි විටෙකත් විශිෂ්ටත්වයට බාධාවක් නොවේ (Age is never barrier to excellence) යන්න සනාථ කිරීමට වශින්‍යා හොඳම උදාහරණය යි. ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය (Master Of Business Administration) අවුරුදු 17 දී සම්පූර්ණ කළ ඇය පසුව මැලේසියාවේ ලින්කන් විශ්විවිද්‍යාලයට සම්බන්ධ වී ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ආචාර්ය උපාධිය සඳහා වන අධ්‍යයන කටයුතු ආරම්භ කළා.
Post a Comment