හිටපු අමාත්‍යවරියක වන ඩයනා ගමගේ මහත්මිය ආගමන හා විගමන පනත උල්ලංඝනය කරමින්, ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කොට විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම යන චෝදනාවන්ට තමන් නිවැරැදිකාරිය බව ඊයේ (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා ඉදිරියේ ප්‍රකාශ කළාය.
විත්තිකාරිය අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසු රහස් පොලිසිය ඇයට එරෙහිව පවරා ඇති නඩු හත අතුරින් එක් නඩුවක චෝදනා පත්‍රය අධිකරණ තෝල්ක මුදලි විසින් කියවා දීමෙන් අනතුරුව, ඩයනා ගමගේ මහත්මිය විත්තිකූඩුවේ සිට අදාළ චෝදනාවන්ට තමන් නිවැරැදිකාරිය බව පැවසුවාය.
ඒ අනුව 2014 වසරේ ජනවාරි මස 20 වැනිදා හෝ ඊට ආසන්න දිනක දී බත්තරමුල්ලේදී එන්. 50191386 දරන ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා අයැදුම් පත්‍රයක් ඉදිරිපත් කිරීම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම යන චෝදනාවලට තමන් නිවැරැදිකාරිය බව ඇය අධිකරණය හමුවේ පිළිගත්තේය.
මෙම නඩුවට අමතරව 2016 ජූලි මස සිට 2017 ජූලි මස දක්වා, 2014 ජූලි මස 17 සිට 2018 ජූලි මස 16 දින දක්වා, 2018 ජූලි මස 17 සිට 2019 ජූලි මස 16 දක්වා, 2019 ජූලි මස 17 සිට 2020 ජූලි මස 16 දක්වා සහ 2020 වසරේ සිට 2022 නොවැම්බර් පළමුවැනි දින දක්වා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිමින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදවල් සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ තවත් නඩු හයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ගොනුකර ඇති නමුත්,
ඊයේ දිනයේදී කියවා දුන්නේ ඉහත සඳහන් එක් නඩුවක චෝදනා පත්‍රය පමණි.
චෝදනා පත්‍රය කියවා දීමෙන් පසු විත්තිකාරිය තමන් නිවැරැදිකාරිය බව ප්‍රකාශ කළ හෙයින් මහේස්ත්‍රාත්වරයා නඩුවේ සාක්ෂි විභාගය කිරීමට නියෝග කළේය. පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ අකිලා දල්පදාදු මහත්මිය සාක්ෂි මෙහෙයවූ අතර, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරිනියක වන හංසිකා කුමාරසිරි මහත්මිය විත්තිකාරිය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ ලේඛන තොරතුරු සහ වීසා නොමැතිව රැඳී සිටීම සම්බන්ධයෙන් මූලික සාක්ෂි ඉදිරිපත් කළාය.
අදාළ විදේශ ගමන් බලපත්‍ර අංක, ඒවා භාර දුන් දින සහ කාල වකවානු පිළිබඳව මෙහිදී මූලික සාක්ෂි විමසීම සිදුවිය. දීර්ඝ වශයෙන් සාක්ෂි සලකා බැලීමෙන් අනතුරුව, වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් 15 දින කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
gossip lanka news

Post a Comment