මහනුවර ජාතික රෝහලට අනුයුක්තව සේවය කළ තිස් හත් හැවිරිදි හෙද නිලධාරිනියක් ඇයගේ තෙවන දරු ප්‍රසූතිය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටියදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ඉසුරු නදිෂානි දිසානායක නැමැති හෙද නිලධාරිනියක වන අතර, ඇය ගැබ්ගෙන සිටියදීම අධි අවදානම් තත්ත්වයක
පසුවන බව වෛද්‍යවරුන් විසින් කල්තියා හඳුනාගෙන තිබූ බව වාර්තා වේ. කෙසේ වෙතත්, වෛද්‍යවරුන් විසින් සිදුකළ සිසේරියන් සැත්කමක් මාර්ගයෙන් දරුවාගේ ජීවිතය බේරා ගැනීමට හැකි වුවද, මව අසාධ්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන් ඇයගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී ඇත.
මියගිය හෙද නිලධාරිනිය මීට පෙර අනුරාධපුර රෝහලේ සේවය කර ඇති අතර, එම කාලයේදී ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවේ සිදුකළ ස්කෑන් පරීක්ෂණයකදී වැදෑමහ පිහිටීමේ අසාමාන්‍යතාවක් හේතුවෙන් ඇය දැඩි අවදානම් තත්ත්වයක පසුවන බව නිර්දේශ කර තිබිණි.
මීට මාස තුනකට පමණ ඉහතදී ඇය මාරුවීමක් ලබා මහනුවර ජාතික රෝහලේ ළමා රෝග සායනයට අනුයුක්තව සේවයට පැමිණ ඇති අතර, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබා ගෙන තිබේ.
පසුගිය 10 වැනි දින ප්‍රසව වේදනා ඇතිවීම හේතුවෙන් සැමියා සමඟ පැමිණ පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් වී ඇති ඇයව විශේෂඥ වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවෙන් පසු සැලසුම් සහගත සිසේරියන් සැත්කමකට ලක් කිරීමට මුලදී තීරණය කර ඇත. එහෙත් එම කාලය අතරතුර ඇයගේ හදිසි රුධිර වහනයක් සිදුවීම හේතුවෙන් සිදුකළ ස්කෑන් පරීක්ෂණයකින් අනතුරුව, වහාම ක්‍රියාත්මක වන පරිදි දරුවා පිටතට ගැනීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබේ.
සිසේරියන් සැත්කම අතරතුර සිදුවූ අධික රුධිර වහනය පාලනය කිරීම සඳහා රුධිර පයින්ට් 12ක් පමණ ඇයට ලබා දීමටත්, ඇයගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් ගත හැකි සියලුම ශල්‍ය උපක්‍රම සහ අත්‍යවශ්‍ය ඖෂධ භාවිත කිරීමටත් වෛද්‍ය කණ්ඩායම කටයුතු කළ බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සම්පත් තුෂාර ඥානරතන මහතා මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය. විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් මෙම සැත්කම සඳහා සහභාගී වී ඇති බව ද එහිදී අනාවරණය විය.
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක වන ඇයගේ නැගණිය සහ මියගිය නිලධාරිනියගේ සැමියා ද මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දුන් අතර, මියයන විට ඇය වයස අවුරුදු 09 සහ 05 යන වයස්වල පසුවන දරුවන් දෙදෙනෙකුගේ මවකි. පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය මරණය පිළිබඳ තවදුරටත් විමර්ශනය කළ යුතු බව දැනුම් දී ඇති බැවින්, අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් මරණ පරීක්ෂණයේ තීන්දුව කල් තැබීමට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතා තීරණය කර ඇත.
Source – Gossip Lanka News
.webp)
Post a Comment