අප අවට පවතින ශාක මනුෂ්‍යයන්ට නොඇසෙන සතුන්ට පමණක් ඇසෙන ආකාරයෙන් අද්භූත ශබ්ද නිකුත් කරන බවත් එම ශබ්දවලට සතුන් ද ප්‍රතිචාර දක්වන බවත් ඊශ්‍රායලයේ ටෙල්අවිව් සරසවියේ විද්‍යාඥයන් පිරිසක් විසින් සිදු කරන ලද නවතම පර්යේෂණයකදී අනාවරණය වී තිබේ.
එම පර්යේෂණය හරහා ඉදිරිපත් කර ඇති එක් සාක්ෂියකට අනුව සලඹයන් වැනි සතුන්ට ශාකවලින් නිකුත් කරන ශබ්ද ඇසෙන බව ද ඔවුන් එම ශබ්දවලට ප්‍රතිචාර දක්වන බව ද හෙළි වී තිබේ. එම විද්‍යාඥයන්ට අනුව මෙසේ ශාක ශබ්ද නිකුත් කිරීමත් සතුන් එයට ප්‍රතිචාර දැක්වීමත් හරහා එම දෙපාර්ශ්වය අතර පියවි ඇසට නොපෙනෙන පරිසර පද්ධතියක් පවතින බවට ඉඟියක් ලැබේ. කෙසේ වුවද ශාක නිකුත් කරන ශබ්ද මිනිසාට නොඇසෙන අතර එම ශබ්ද ඇසෙන බවට හෙළි වී ඇත්තේ බොහෝ කෘමීන්ට, වවුලන්ට හා ඇතැම් ක්ෂීරපායි සතුන්ටය.
මෙම පර්යේෂණය මෙහෙය වූ ටෙල්අවිව් සරසවියේ මහාචාර්ය යොස්සි යොවෙල් පවසන්නේ ශාක විසින් නිකුත් කරනු ලබන ශබ්දවලට සතුන් ප්‍රතිචාර දක්වන බවට මෙතෙක් සිදු කර ඇති ප්‍රථම හෙළිදරව්ව මෙය බවයි. ගැහැනු සලඹයන් ශබ්ද නිකුත් කරන තක්කාලි පැල මත බිත්තර නොදමන අතර එයට හේතු වී ඇත්තේ එසේ ශබ්ද නිකුත් කරන පැල සෞඛ්යාරක්ෂිත හෝ නිරෝගී නොවන බව අවබෝධ කරගැනීම බව ද ඔහු සඳහන් කර තිබේ. මෙම පර්යේෂකයන් විසින්ම මෙයට දෙවසරකට පෙර සිදු කරන ලද මෙවැනිම පර්යේෂණයකදී හෙළි කර තිබුණේ ශාකයකට පීඩාවට පත්ව ඇති හෝ සෞඛ්‍යසම්පන්න නොවන ආකාරයේ හැඟීමක් ඇති වූ විටදී එම ශාකය හඬන බවයි.
තමන්ට හැඟෙන ආකාරය අනුව ශාක ශබ්ද නිකුත් කළද එම ශාක සංවේදී නොවන අතර ශාකයකට යම් දෙයක් දැනීමට නොහැකි බව එම පර්යේෂණයේදී හෙළිදරව් වී ඇති සෙසු කරුණයි. ශාකයක් සත්‍ය වශයෙන්ම ශබ්ද නිකුත් කරන්නේ ඒවායේ ඇතිවන කායික වෙනස්කම් නිසා බව ද, ශාක නිකුත් කරන ශබ්ද තේරුම් ගැනීමට සතුන්ට හැකි වී ඇත්තේ සතුන් හා ශාක එකිනෙකා හා සහජීවනයෙන් යුතුව පරිණාමය වී තිබීම නිසා බව ද පැවසේ. ශාකවලට විශාල ශබ්ද හෝ ඝෝෂාකාරී ශබ්ද නිකුත් කළ හැකි ආකාරයට පරිණාමය විය හැකි අතර සතුන්ට ද එම ශබ්ද ඇසෙන ආකාරයෙන් පරිණාමය විය හැක. ඒ හරහා ශාක නිකුත් කරන ශබ්ද පිළිබඳ වැඩි තොරතුරු ප්‍රමාණයක් සතුන්ට ලබා ගත හැකි බව ද මෙම පර්යේෂණයේදී හෙළි කරගෙන ඇත. ශාක විසින් ශබ්ද නිකුත් කිරීමත් එම ශබ්ද සතුන්ට ඇසෙන බවටත් සොයාගැනීම ලෝකයම බලා සිටි තත්ත්වයක් බවත් මෙම ක්ෂේත්රය මෙතෙක් ගවේෂණය නොකළ එකක් බවත් මහාචාර්යවරයකු වන ලිලැක් හඩානි මාධ්‍යයට පවසා තිබේ.
ඒමන්ති මාරඹේ
Post a Comment