වතුර මෝටරයක් කිව්වොත් මතක් වෙන්නෙ ජිනසේන නම යි. පිටරටවලින් ගෙන්වන වතුර පොම්ප අතරෙන් ලංකාවේ වෙනත් ආයතන නිෂ්පාදනය කරන වතුර පොම්ප අතරෙන් ජිනසේන වතුර පොම්පය එදා මෙන් අදටත් සිය අනර්ඝත්වයේ අභිමානවත් නම එලෙසම රැකගෙන සිටිනවා.
දේශීය ව්‍යාපාරිකයන්ගේ ඉතිහාසයේ ජිනසේන නම හුඟක් පැරණියි. ජිනසේන ආයතනය අවුරුදු සීය සමරන්න ආසන්න යි. ජිනසේනලගේ කතාන්දරය සහමුලින්ම යකඩ සහ වානේවලින් ලියැවුණු එකක්. එපමණක් නෙමෙයි. සුද්දගෙ දැවැන්ත කොම්පැණිවල එදිරිවාදිකම් මැද්දේ අභීතව ඉහ උස්සපු සිංහල ව්‍යාපාරයක්.
ජේමිස් ඇන්තනී ප්‍රනාන්දු නමැති දරුවා උපන්නේ 1873 ජන. 13 ද මොරටුවේ විල්ලෝරාවත්තේ දී. මොරටුව ප්‍රසිද්ධ වඩුවැඩවලට. ජේමිස් ඇන්තනීගේ පවුලත් කළේ වඩු වැඩ. ජේමිස් දරුවා වැඩිදුර අධ්‍යාපනය පස්සෙ පැන්නුවේ නැහැ. ඔහුට තිබුණේ අඩු යතුරු වගේ ආයුධ එක්ක හැපෙන ගායක්. මේ තරුණයා අවුරුදු 17 වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්ක් ෂොප් එකට ඇතුළු වුණා. යකඩ වැඩවලට ඇන්තනි හරි ම සූරයා. යකඩ නවන්න,කපන්න, ඇණ මුරිච්ච කපන්න ඇන්තනි ඉගෙන ගත්තෙ රේල්වේ වර්ක් ෂොප් එකෙන් ඇන්තනි ඊට පස්සේ මලයාසියාවට ගියා. ඒ ගියෙත් යකඩ වැඩවලට ම තමයි. ඒ මැල්සියන් කොම්පනි කරපු සුද්දෝ ඇන්තනීට බොහොම කැමති වුණා. මක්නිසාද කාර්මික වැඩවල දී ඇන්තනී ළඟ තිබුණු පුදුම සහගත දස්කම නිසා. මේ තරුණයා මැලේසියාවෙන් ආපහු ලංකාවට ආවා. ආයෙ රේල්ලුවට ගිහින් වර්ක් ෂොප් එකේ වැඩ කළා. අවුරුදු 3 ක් එකේ වැඩ කරල හඩ්සන් කොම්පැණියෙත් අවුරුදු දෙකකුත් ඊළඟට බ්‍රවුන්ස් කොම්පනියෙත් වැඩ කරල ආයෙමත් මැල්සියාවේ ටින් ආකරවලට ගියා. මේ වන විට ඇන්තනි තරුණයා ඉංජිනේරුවකුගේ තත්වයට උසස් වෙලයි හිටියෙ.
ආපසු ලංකාවට පැමිණි ජේමිස් ඇන්තනි ප්‍රනාන්දු තරුණයා පරම්පරාව හෙලවෙන වැඩක් කළා. ඔහු ප්‍රනාන්දු වාසගම අත්හැරියා. මේ ඔහුගේ ජීවිතයේ විශාල පෙරලියක්. ප්‍රනාන්දු වෙනුවට ඔහු තම වාසගම බවට පත් කරගත්තේ ජිනසේන යන නමයි. සිංහල බෞද්ධ දේශිය ජාතිකානුරාගී ව්‍යාපාරය මේ වන විට රට පුරා මහා සුළඟක් සේ ව්‍යාප්ත වෙමින් තිබුණා. අනගාරික ධර්මපාල තුමාගේ දේශානුරාගී ව්‍යාපාරය ඔස්සේ ඉංග්‍රීසි නම් ගම් වෙනස් කරගැනීම ඇන්තනී තරුණයාට බලපාන්න ඇති. එසේ නොවුණා නම් ප්‍රනාන්දු ව්‍යාපාරයක් මිස ජිනසේ ව්‍යාපාරයක් අද නෑ.
මෙතැන් සිට අප කතා කරන්නේ ජිනසේන තරුණයා ගැන ය. ඔහු යන්ත්‍රෝපකරණ අලුත්වැඩියා කිරීමේ තමන්ගේ ම වැඩපලක් පටන් ගත්තා. ඒ 1905 දී කොළඹ රෝහල් වීදියේ තැනක. අද රෝහල් වීදිය හඳුන්වන්නේ චැතැම් වීදිය යන නමින්. මහණ මැෂින්, මෝටර් සයිකල් අලුත්වැඩියාව තමයි ඔහු මුලින් ම කළේ. මේ කාලය වන විට රබර්, තේ, පොල් සහ මිනිරන් කර්මාන්තය ලංකාවේ ජයට ම කෙරුණා. ඒවාට අවශ්‍ය යන්තෝපකරණ පිටරටින් ගෙන්නුවේ.මේවා අලුත්වැඩියා කිරීමේ දක්ෂ කාර්මිකයන් අතර ඉහළ ම තැනක සිටියේ ජිනසේන යි. තමන්ගේ තරුණ වියේ දී රේල්ලුවේ වර්ක් ෂොප් එකෙත් මැලේසියාවේ කම්මල්වලත් වැඩ කිරිමෙන් ලත් පුරුද්ද නිසා ඕනෑ ම යන්ත්‍රයක් අලුත්වැඩියා කිරිමේ හැකියාව විශේෂයෙන් තිබුණා. ගලා එන වැඩ ප්‍රමාණය වැඩි වුණා.
මිනිරන් පතල බොයිලේරු කැඩුණාම ඒවා අලුත්වැඩියාවට කෙළින්ම ආවේ ජිනසේන ළඟට. වැඩි ඉඩකඩ තියෙන තැනකට ගියොත් හොඳයි කියලා ජිනසේන කල්පනා කළා. කොළඹ රෝහල් වීදියෙන් ජිනසේන වැඩපළ හුණුපිටියට ගොඩ වැදුණේ එහෙමයි.
මේ වන විට ජිනසේන විවාහකයි. ළමයි 4 දෙනෙක් පවුලට එකතු වෙලා. ඒ ළමුන් අතරින් තිස්ස වීරවර්ධන ජිනසේන තාත්තගෙ පස්සෙන් වැටිලා යකඩ වැඩපළේ යකඩ කෑලි අතර ඇවිදිනවා.යකඩ කෝවේ දාලා උණු කරලා හයි කරලා හැඩේට නවලා පරණ මැෂින්වලට අලුත් කෑලි විදියට හයි කරන හැටි තිස්ස ජිනසේන ඕනෑකමින් බලා ඉන්නවා.
ජිනසේන තාත්තට පුතා ගැන බොහොම සංතෝෂ යි. තමන් වගේ ම යකඩවලට ආස කරන මේ පුතා ජිනසේන කොම්පනියේ දෙවන පරම්පරාවේ යතුර වන බව තාත්තා හිතින් හිතා ගත්තා. තාත්තා රබර් ෂීට්ස් හදන රබර් රෝල් මැෂිමක් හැදුවා. තිස්ස ජිනසේන මේ මැෂිම අත ගාල බැලුවා. ඒ රබර් රෝල් මැෂිම ලංකාව පුරා විකිනුණා.
ඊළඟට තාත්තා මිනිරන් පතලට වැඩට අවශ්‍ය මැෂිමත් හැදුවා. මේ වන විට සුද්දන්ගේ කොම්පණී කොළඹ පුරාම.බොස්ටෙඩ්,කළම්බු කොමර්ෂල්, වෝකර් සහ පුත්‍රයෝ. බ්‍රවුන්ස් සමාගම, මැක්වුඩ්, හන්ටර්, හේලිස් ආදී ප්‍රධාන පෙළේ ඉංජිනේරු කොම්පැණි ඔක්කොම තිබුණේ සුද්දගේ අතේ. ජිනසේන කොම්පැණියේ අලුත් අලුත් මැෂින් හැදිල්ල මේ සුදු කොම්පැණිවලට ඇල්ලුවේ නෑ. රටේ කර්මාන්තවලට අවශ්‍ය යන්ත්‍රෝපකරණ ගෙන්වීම බෙදාහැරීම සහ ඒවා අලුත්වැඩියා කිරිමත් තිබුණේ සුදු කොම්පැණි අධිරාජ්‍යය යටතේ යි.
රබර් ෂීට් හදන මැෂින් මිනිරන් පතලට අවශ්‍ය මැෂින් ලංකාවේ සිංහල මිනිහෙක් හදන කොට සුද්දගෙ මූණු රතු වුණා. සුද්දා ජිනසේන කොම්පැණියට හයිරන් දාන්න පටන් ගත්තා. නමුත් ජිනසේන පහු බැස්සේ නෑ. ඔවුන්ගේ මැෂින් සහ ඒවා අලුත්වැඩියාව විශිෂ්ට තත්වයේ තිබුණා.
මේ අතරේ අවාසනාවන්ත දෙයක් සිද්ධ වුණා. ජිනසේනලා හදාපු බොයිලේරුවක් පුපුරල මිනිරන් පතලක මිනිස්සු හත් දෙනෙක් මිය ගියා. සුද්දන්ට කාලකන්නි සතුටක් දැනුණා. මිය ගිය අය සම්බන්ධව ජිනසේන කොම්පැණියට විරුද්ධව නඩුවක් වැටුණා. Hoare නමැති සුදු කොම්පැණිය ජිනසේනලගෙ පුපුරපු බොයිලේරුවට සමාන බොයිලේරුවක් උසාවියට අරං ගිහින් පෙන්නුවා. සිංහලයා පරාද කරන්න ඒ කාලෙ සුද්ද වලි කෑවේ ඒ විදියට. ජිනසේන වැරදියි කියල නඩුකාරයා තීන්දුව දුන්නා. ජිනසේන පසුබෑවේ නෑ. ඔහු නඩුව ඇපිල් කළා. එංගලන්ත උසාවියට, එංගලන්ත උසාවිය ජිනසේන බොයිලේරුව නිවැරදිය කියල තීන්දු කරමින් ජිනසේන නිදහස් කළා.
සුද්දා පරාදයි. ජිනසේන කොම්පැනියෙ කීර්ති නාමය මේ නඩුව නිසා රට රාජ්ජවල පවා විහිදී ගියා.
Post a Comment